ලංකාවට අභිමානයක් ගෙනාව සුසන්තිකා කියන සංවේදී කතාව

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රය පමණක්‌ නොව අනෙකුත් ක්‍රීඩාවන්ට ද ජාත්‍යන්තර පදක්‌කම් කරා ළඟා වීමට නොහැකි වී ඇත්තේ ජාතික ඔලිම්පික්‌ කමිටුවේ ආත්මාර්ථකාමී ප්‍රතිපත්තීන් සහ තමන් වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අද්දැකීම් වත්මන් පරපුරට ලබා දීමට හැකි ක්‍රමවේදයක්‌ සකස්‌ නොවීම බව ඇගේ කතාවේ එක්‌ සාරාංශයක්‌ විය.

ඩන්කන් වයිට්‌ගෙන් පසු මෙරටට ඔලිම්පික්‌ පදක්‌කමක්‌ දිනා දුන් ක්‍රීඩිකාව වන්නේ සුසන්තිකාය. ඇය ඒ දස්‌කම පෑවේ ඩන්කන් වයිට්‌ ජීවතුන් අතර සිටියදීමය. සුසන්තිකාගෙන් පසු මේ තාක්‌ අපේ රටට ඔලිම්පික්‌ පදක්‌කමක්‌ හිමි වී නැත. එසේ පදක්‌කමක්‌ හිමිවෙන බවට පෙනෙන ලකුණකදු හෝ පෙනෙන්නට නැත.

එවැනි පසුබිමක සුසන්තිකා ඉකුත්දා කොළඹදී පැවැති මාධ්‍ය හමුවක්‌ අතරතුර ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව හමුවේ ශ්‍රී ලංකා ඔලිම්පික්‌ කමිටුවේ ක්‍රියාකලාපය පිළිබඳ දැඩි විවේචනාත්මක අදහස්‌ කිහිපයක්‌ ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා ඔලිම්පික්‌ කමිටු නිලවරණය පැවැත්වීමට ආසන්නව තිබියදී ඇය එම අදහස්‌ ප්‍රකාශ කළේ මෙතෙක්‌ පැවැති ජාතික ඔලිම්පික්‌ කමිටු පරිපාලනයටත් ඉදිරියේදී එම කමිටුවට පත්වෙන කවර හෝ නිලධාරීන්ටත් යන දෙපිරිසටමය.

එහිදී අදහස්‌ දැක්‌වූ ඇගේ ප්‍රමුඛතම චෝදනාව වූයේ මෙරටින් බිහි වූ ලෝක මට්‌ටමේ රටට ගෞරවයක්‌ අත්කර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක්‌ ලබා ගැනීම ජාතික ඔලිම්පික්‌ කමිටුව විසින් හිතා මතාම බැහැර කර ඇති බවය. තමන් කෙසේ වෙතත් තමන්ගෙන් පසුපෙළ සිටින ජාතික මට්‌ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පවා ජාතික ඔලිම්පික්‌ කමිටුවේ මේ තාක්‌ කිසිදු පාඨමාලාවක්‌ හැදැරීමට අවස්‌ථාව නොදීමත්, එසේ අවස්‌ථාවක්‌ ලබා දී ඔවුන්ගේ සේවය මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ උන්නතියට නොයෙදීමත් ඇගේ දැඩි විවේචනයට ලක්‌විය.

එහෙත් පසුගිය කාලය පුරා සිදුව ඇත්තේ ඒ වෙනුවට ජාතික ඔලිම්පික්‌ කමිටුවේ සිටින කාර්යාල කාර්ය සහායකයන් පවා විදේශ සංචාරවලට සහභාගි කරවීම බව ඇගේ චෝදනාව විය. වර්තමානය වනවිට මෙරට ජාත්‍යන්තර පදක්‌කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සමගියක්‌ නැත්තේ ද ඔවුන් එකට එකතු කර රටට සේවාවක්‌ ලබාගැනීමට නොහැකි වී ඇත්තේ ද ජාතික ඔලිම්පික්‌ කමිටුවේ ප්‍රතිපත්ති නිසා බව ඇය කියන්නීය.

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රය පමණක්‌ නොව අනෙකුත් ක්‍රීඩාවන්ට ද ජාත්‍යන්තර පදක්‌කම් කරා ළඟා වීමට නොහැකි වී ඇත්තේ ජාතික ඔලිම්පික්‌ කමිටුවේ ආත්මාර්ථකාමී ප්‍රතිපත්තීන් සහ තමන් වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අද්දැකීම් වත්මන් පරපුරට ලබා දීමට හැකි ක්‍රමවේදයක්‌ සකස්‌ නොවීම බව ඇගේ කතාවේ එක්‌ සාරාංශයක්‌ විය.

“ලෝක මට්‌ටමේ පදක්‌කම් 4 ක්‌ රටට දිනා දුන් මගෙන් දැන් අහනවා මොනවද මගේ තියෙන ක්‍රීඩාව ගැන දැනීම කියලා. ඒත් මගෙන් අහල නෑ මේ පදක්‌කම ගන්න එක අරමුණක ආපු ගමන ගැන. කොහොමද මං ඒ අරමුණට ළඟා වුණේ. මොනවද මම ඒ වෙනුවෙන් කළේ මොනවද ඒ ආව ගමනෙදි මම මුහුණ දුන්න ප්‍රශ්න ඒවට කොහොමද මුහුණ දුන්නෙ කියලා. ඒ වගේ 25 වසරක ක්‍රීඩා ජීවිතයේ අත්දැකීමක්‌ මට තියෙනවා. ඒ කිසිවක්‌ මේ නිලධාරීන් මගෙන් අහල නෑ.

මම අහන්නෙ ඒකද වෙන්න ඕන. එහෙම වෙනකොට අපේ ක්‍රීඩාවට යන කල මොකක්‌ද? මට පුළුවන් වුණා ඩන්කන් වයිට්‌ මහත්තය ජීවත්ව ඉද්දී ලංකාවට ඔලිම්පික්‌ පදක්‌කමක්‌ ගෙනත් එතුමා මැරෙන්න කලින් ඒ හීනය සැබෑ කරන්න. නමුත් තවම මගෙන් පස්‌සෙ එහෙම පදක්‌කමක්‌ හිමිවෙන බවක්‌ පේන්න නෑ. අද රටට ගෞරවයක්‌ ගෙනාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇගයීමක්‌ ලැබෙන්නෙ නෑ. දමයන්ති දර්ශාට අභිමානවත්ව වාහනයක නැඟලා යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඩයාන් ගෝමස්‌ මහත්තයා හින්දා. ජෙනරල් පාලිත ප්‍රනාන්දු වගේ මහත්තුරු හින්දයි. මට වුණත් මලල ක්‍රීඩාවට එන්න අවස්‌ථාව ලැබුණෙ. එහෙත් අද ක්‍රීඩා සංගම් පිහිටුවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර මතභේද ඇතිවෙලා මේවට වගකියන්න ඕනෙ හිටපු සභාපතිවරු.

ඒ නිසා මම එක අවස්‌ථාවකදී හේමසිරි ප්‍රනාන්දු මහත්තයට දණ ගහල වැඳල කිව්වා “සර්….. මට අඩුම තරමින් සර් ජීවතුන් අතර ඉන්දැද්දී මොනයම් හෝ ඇගයීමක්‌ කරල මැරිල යන්න කියල” ඒත් එහෙමවත් දෙයක්‌ රටකට ගෞරවයක්‌ ගෙනා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නැත්නම් මේ රටේ ක්‍රීඩාවෙ වටිනාකම කොතනද තියෙන්නේ යෑයි ද ඇය එම අවස්‌ථාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

විශේෂයෙන් මෙරට ඔලිම්පික්‌ පදක්‌කම් ඉතිහාසයේ එම පදක්‌කම් හිමිකර දුන් ඩන්කන් වයිට්‌ගේ සහ සුසන්තිකා ජයසිංහගේ ඡායාරූපයක්‌ හෝ ඔලිම්පික්‌ කමිටු ගොඩනැඟිල්ලේ නොමැති බව මෙම මාධ්‍ය හමුවේදී හෙළි වූ අතර එය බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *